Life
ඩෙංගු මඩින නවතම ක්‍රම සාර්ථක වේද?
ශ්‍රී ලංකාව පුරාම වාර්ෂිකව සිදුවන ඩෙංගු භීතිකාව නැවත උත්සන්න වී, පසුගිය
වසරවල මෙන්ම ඩෙංගු මදුරුවා නැති කළ හැකි ක්‍රම පිළිබඳව නැවත වරක්
කතිකාවක් ගොඩ නැගී ඇත. වැසි කාලයට ගෙවල් හදන වඳුරන් මෙන් මෙම කතා බහ නිසා
සාමාන්‍ය ජනතාවගෙන් සමහරක් කුල්මත් වීද තවත් සමහරක් ඔල්මොරොන්දම් වීද
සිටිති.
මෙම කතාබහවලට මූලික වී ඇත්තේ ඕස්ටේ්රලියාවෙන් ගෙන්වීමට යන
බැක්ටීරියාවක් හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මදුරුවන් කන මදුරුවකු ගැනය.
ඕස්ටේ්රලියාවෙන් ගෙන්වීමට යන මේ අලුත් බැක්ටීරියාව කුමක්ද Bti
බැක්ටීරියාව මෙන්ම මදුරු කීටයන් මරණ බැක්ටීරියාවක්ද, එසේ නොවේ නම් මෙම
බැක්ටීරියාවේ කාර්ය භාරය කුමක්ද? මෙම බැක්ටීරියාව ඩෙංගු නැති කරන්නේ
කෙසේද? මෙම බැක්ටීරියාවේ කාර්ය භාරයවනුයේ මදුරුවා විනාශ නොකර ඩෙංගු වෛරසය
නැති කිරීමයි.
වුල්බැකියා (wolbachia) නම් මෙම බැක්ටීරියා විශේෂය
අප පරිසරයේ ජීවත්වන බොහෝ කුඩා කෘමි සතුන් ගේ ශරීර තුළ ජීවත්වේ. කෘමි
සතුන්හට රෝගවලින් ආරක්ෂා වීම සඳහා ස්වභාව ධර්මයෙන්ම ලැබී ඇති දායාදයක්
වන මෙම බැක්ටීරියාව, ශරීර ගත වී කෘමින් හට රෝග අසාදනය වීම පාලනය කරයි.
නමුත් අපගේ අවාසනාවට ඩෙංගු වාහක මදුරුවන් (ඊඩිස් ඊජිප්ටයි, ඊඩිස්
ඇල්බොපික්ටස්) හා වෙනත් බොහෝ මදුරු විශේෂයන් හට මෙම වුල්බැකියා අසාදනය වී
නොමැත. නමුත් දැන් ලෝකයේ බොහෝ රටවල විද්‍යාඥයින් හා පර්යේෂකයින් මෙම
බැක්ටීරියාව කෘත්‍රිමව මදුරුවාගේ ශරීර තුළටද ඇතුළු කිරීමට සමත් වී ඇත.
මෙය
පහසු කාර්යයක් ලෙස බැලූ බැල්මට පෙනුනද, මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක
ප්‍රතිපලයකි. අප පරිසරයේ ජීවත් වන 'Drosophilidae' විශේෂයේ 'fruit flies'
එසේ නොමැති නම් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන පලතුරු මැස්සාගේ
ශරීරයෙහි මෙම වුල්බැකියා බැක්ටීරියාව බොහෝවිට ජීවත්වේ. විශේෂ පර්යේෂණාගාර
තුළදී අන්වීක්ෂ මගින් පලතුරු මැස්සාගේ ශරීරයෙන් ඉවත් කරනු ලබන මෙම
බැක්ටීරියාව ඉතා සියුම් ලෙස හුලං පුරවන ලද බැලුනයකට, බැලුනය පිපිරීමට ඉඩ
නොදී කුඩා ඉඳි කට්ටක් ඇතුල් කරන්නාක් මෙන් සියුම් ලෙස මදුරු බිත්තරය
තුළට මෙම බැක්ටීරියාව ඇතුල් කෙරේ. මේ ලෙස ඉතා විශාල මදුරු බිත්තර
සංඛ්‍යාවකට මෙම බැක්ටීරියාව ඇතුළු කෙරේ.
මෙසේ වුල්බැකියා ඇතුල් කරන
ලද බිත්තර පුපුරා කීටයන්ද, පිලවුන්ද, පසුව ගැහැණු හා පිරිමි මදුරුවන්ද
පරීක්ෂණාගාර තුළ වැඩේ. ඉන්පසුව මෙම ගැහැණු හා පිරිමි මදුරුවන් වෙන් වෙන්ව
කූඩු තුළට දමා ගැහැණු මදුරුවන් වුල්බැකියා ආසාදනය නොවූ පිරිමි මදුරුවන් හා
සංසේචනය වීමට සලස්වනු ලබන අතර සංසේචනය වූ ගැහැණු මදුරුවන්ගේ ශරීරයේ
වර්ධනයවී ජනනයවන බැක්ටීරියාව ඊළඟ පරම්පරාවද අසාදිත තත්වයට පත්කෙරේ.
මෙලෙස
වුල්බැකියා මදුරුවන් තුළ ජීවත්වෙමින් ඊළඟ පරම්පරාවන්ද වුල්බැකියා අසාදිත
පරම්පරාවට පත් කර ඩෙංගු වෛරසය මදුරුවන් තුළ ජනනය වීම වළක්වයි. එවිට මෙම
වුල්බැකියා අසාදිත ඩෙංගු මදුරුවන් වාහක තත්වයෙන් මිදේ.
මේ අතර
වුල්බැකියා අසාදිත පිරිමි මදුරුවන්ද අසාදිත නොවූ ගැහැණු මදුරුවන් හා
සංසේචනය වේ. මෙම අසාදිත පිරිමි මදුරුවන් හා සංසේචනය වන පරිසරයේ ජීවත්වන
අසාදිත නොවූ ගැහැණු මදුරුවන්ද වඳ භාවයට පත්වේ.
මේ ආකාරයට දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බැක්ටීරියාව ඩෙංගු රෝගය බෝවීම වලක්වන අතරම මදුරු ගහණයද අඩු කරයි.
දැන්
අපහට පැන නැඟෙන ප්රශ්නය වන්නේ මෙම බැක්ටීරියාව මදුරුවන් අපගේ ලේ උරා බීම
හරහා අප ශරීරයට ඇතුළු වුවහොත් මිනිසා හට අතුරු ආබාධ ඇතිවිය හැකිද යන්නයි.
මේ සඳහා දීර්ඝ කාලින පර්යේෂණ කර ඇති අතර මේ දක්වාම පර්යේෂකයන්හට තහවුරු වී
ඇත්තේ මිනිසා හට අතුරු ආබාධ ඇති කිරීමට තරම් මෙම බැක්ටීරියාව ශක්තිමත්
නොවන බවයි. තවද මදුරුවන්ගේ විලෝපිකයන් වන හුනන් මකුළුවන් වැනි සතුන් යොදා
කරන ලද පරීක්ෂණවලින් ද මදුරුවන් ආහාරයට ගත්තද මෙම සතුන්ගේ ආහාර මාර්ගයේ
මෙම බැක්ටීරියාව විනාශ වන බැවින් ආහාර දාමය තුළින් මෙම වුල්බැකියා ගමන්
කිරීමේ අවස්ථාව විරල බව පර්යේෂකයන්ගේ මතයයි.
කෙසේ වුවත් මෙම
කටයුත්ත සඳහා මූලික අදියරේදී ඉතා විශාල මුදලක් වැයවන අතර මේ සදහා ඉතා
දීර්ඝ කලයක්ද ගතවේ. වසංගත කාලයක් තුළදී පරිසරය තුළ ලක්ෂ සංඛ්‍යාත මදුරු
ගහනයක් ජීවත් වන අතර පරිසරය පුරා පැතිරී ඇති ගහනය ආසාදිතයන් ලෙස පත් කිරීම
ලෙහෙසි පහසු කාර්යක් නොවේ. නමුත් ඩෙංගු මර්ධනයේදී අප අනුගමනය කරුණු ලබන
බෝවන තැන් විනාශ කිරීම, ධූමායන වැනි ක්‍රියාද වියදම් අධික හා පරිසර හිතකාමී
ක්‍රියා නොවන බැවින් වුල්බැකියා ආසාදිත මදුරුවන් මුදාහැරීමද එකවරම බැහැර
කළ නොහැකි මර්දන ක්‍රියාවලියකි.
මෙම බැක්ටීරියාවේ තවත් විශේෂත්වයක් වනුයේ මැලේරියාව බරවා වැනි බොහෝ වාහක රෝගද මෙම බැක්ටීරියාව මගීන් පාලනය කළ හැකි වීමයි.
මෙ
දිනවල කතා බහට ලක්වන ඊළඟ මාතෘකාව නම් මදුරුවන් කන ශාක භක්ෂක මදුරුවකු
පිළිබඳ කතාබහයි. මේ මදුරුවා කවුද ශාක භක්ෂක නම් මදුරුවන් කන්නේ කොහොමද,
මෙම මදුරුවාගේ කීට අවධිය මාංශ භක්ෂකවන අතර කීටයන් ආහාරයට ගනී. නමුත්
වැඩුණු සුහුඹුල් මදුරුවා ගේ පිරිමි සතා මෙන්ම ගැහුණු සතා ගේ ද ආහාරය වන්නේ
මල්පැණිය. කීට අවදියේදී කීටයින් ආහාරය සඳහා ගත්තද වැඩුණු පිරිමි හා ගැහැනු
මදුරුවා මල් පැණි යුෂ බොන මෙම ශාක භක්ෂක මදුරුවකු ලෙස සැලකේ. අලි මදුරුවා,
මදුරුවන් කන මදුරුවා යන අන්වරථ නාමයන් ගෙන් හඳුන්වන මෙම මදුරු විශේෂය
මඟින් ඩෙංගු වාහකයා විනාශ කළ හැකි ක්‍රම පිළිබඳ අධ්‍යයනයක් ශ්‍රී
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නිශ්ශංක ද සිල්වා මහතාගේ
ප්‍රධානත්වයෙන් වසර 20 කට පමණ පෙරසිට සිදුකර ඇත. නමුත් අද මෙන් ඩෙංගු බහුල
නොවූ එකල මෙම පර්යේෂණ පිළිබඳව නිසි ඇගයීමක් සිදු නොවුනි. මෙය ලෝකයේ වෙනත්
බොහෝ රටවලද පර්යේෂණාගාර තුළ අත්හදා බලමින් පවතී. විද්‍යාගාර මට්ටමින් මෙය
සාර්ථක වුවද නගරිකරණයත් සමඟ මෙම ජෛවපාලන මර්ධන ක්‍රමය ප්රයෝගිකරණය කිරීම
අසීරු කටයුත්තක් බවට පත්වී ඇත.
ග්රාමීයව ඩෙංගු බෝ කරන Aedes
albopictus බෝවන තැන්වලම බෝවන Toxorhynchites මදුරුවාගේ ජීවන චක්‍රය සඳහා
දින 45- 90 වැනි දීර්ඝ කාලයක් ගතවේ. කීට අවස්ථාවද දින 21- 45 ක් පමණ වේ.
මෙම දීර්ඝ කීට අවදීය තුළ ජලයේ ඩෙංගු කීටයන් සමඟ සිටිමින් කීටයින් ආහාරයට
ගනී. නමුත් මෙම දීර්ඝ කීට අවධියම මෙම මදුරුවාගේ පැවැත්මට තර්ජනයක් බවට
පත්වී ඇත.මෙම කීටයන් සිටින ජල භාජනය තුළ දින 45 තුළ ජලය පැවතීමේ සම්භාවිතාව
අවම බැවින් ජලය වියලි ගිය පසු මෙම කීටයින් ද ජීවිතක්ෂයට පත්වේ.
ග්‍රාමීය
ප්‍රදේශ ස්වභාවික මදුරුවන් බෝවන කපන ලද උණබට තුළ, ගස්බෙන හා වෙනත්
ස්ථාන තුළ බිත්තර දමන මෙම මදුරුවා ඩෙංගු වාහකයකුවන Aedes albopictus නම්
මදුරු විශේෂය මර්ධනය කිරීම සඳහා අත්හදා බැලුවද, පර්යේෂණාගාර තුළ මදුරු
කොලනි පවත්වාගෙන යැම විශාල වියදමක් හා ශ්‍රමයක් වැයවන පහසු නොවන
ක්‍රියාවලියකි. තවද මෙම මදුරුවා කෘමිනාශකවලට හා Bti වැනි ජෛව නාශක සඳහාද
ඉතා සංවේදී මදුරුවකු බැවින් ඩෙංගු වසංගතයක් පවතින කාලයක පාරිසරික ශුද්ධ
කිරීම් නිතර සිදුවන හා කෘමි නාශක, ධුමායන සිදු කරන මෙවන් අවධියකට කොතෙක්
දුරකට සාර්ථකව මර්දන ක්‍රමයක් ලෙස භවිත කල හැකිද යන්න විමසා බැලීමෙන්
කාලය, මුදල් මෙන්ම ශ්‍රමයද ඉතිරි කරගත හැකිය.
පසුගිය වසර කිහිපය
පුරාම අප රටේ ඩෙංගු වසංගත තත්ත්වයෙනුත් ඉදිරියට ගොස් වසර පුරාම ඩෙංගු
පවතින තත්ත්වයට හා වැසි සහිත කාලවලදී අධි වසංගත තත්ත්වයට පත්වී ඇත. මේ ලෙස
ඩෙංගු රෝගීන් බහුල වන විට මෙම මර්ධන ක්‍රම ප්‍රයෝගිකව යොදා ගන්නේ කෙසේ දැයි
අප විසින් සලකා බැලිය යුතුය.
අප මෙම වුල්බැකියා අසාදිත මදුරුවන් හෝ
ටෝක්සොරින්කෛටිස් මදුරුවන් ඩෙංගු රෝගය අධික ප්‍රදේශයකට මුදාහරින්නේයයි
සිතමු. එවිට අප විසින් දැන් කරනු ලබන මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම,
ධුමායන යන මර්ධන ක්‍රම නවතනවාද. එම මර්ධන ක්‍රම සමගම මෙම නව ක්‍රමද
ක්‍රියාත්මක කරනවා නම්, වුල්බැකියා අසාදිත මදුරුවන් හෝ ටෝක්සොරින්කෛටිස්
මදුරුවන් නොමරා ඩෙංගු මදුරුවන් පමණක් පරිසරයෙන් ඉවත් කරන්නේ කෙසේද.
මදුරුවන්
අධික වැසි කාලවලදී අනෙකුත් මර්දන ක්‍රම නතර කර දිර්ඝ කාලයක් ගතවන මෙම නව
ක්‍රම අත්හදා බැලීමේ අවදානම අපට ගත හැකිද. එසේ නොමැතිව වැසි රහිත බෝවන
ස්ථාන අවම කාලවලදී මෙම නව ක්‍රම අත්හදා බලා පලක්වේද. ප්‍රයෝගිකව ඉහත
අභියෝග සොයා බලා කටයුතු කිරීමෙන් කාලය මෙන්ම අනවශ්‍ය මුදල් නාස්තිය
වලක්වා ගත හැකිවේ.
ජාතියක් වශයෙන් අප වසර 30 ක කුරිරු යුද්ධයකින්
ජයගෙන ඇත්තෙමු. එවන් වූ අපට ඩෙංගු මදුරුවාට එරෙහි යුද්ධය ජය ගැනීමට නොහැකි
විය නොහැක. අපට නැත්තේ නියමිත යාන්ත්රණයකි. යුද්ධය ජයගත් ලෙසට අප C-7
යාන්ත්‍රණය මේ සඳහා අත්‍යවශ්‍ය වේ.
එනම් - අවබෝධය, පැහැදිලි විශ්වාසය, සැලකිලිමත්වීම, ධාරිතාව, ආත්ම විශ්වාසය, කැපවීම, සහයෝගි ක්‍රියාමාර්ග යනාදියයි.
අප රටට අවශ්‍ය කල නොහැකි දේ ගැන අවශ්‍ය සිහින මවන පර්යේෂකයෝ නොව. අප රටට ගැලපෙන දේ කළ හැකි පර්යේෂකයෝ හා C-7 යාන්ත්රණයකි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks